TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

විලියම්සන් නවසීලන්තයේ බලාපොරොත්තු ඉහළ නංවයි

Views 1056 9 March 2017 14:24

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඩුනෙඩීන්හි විශ්ව විද්‍යාල ක්‍රීඩාගංණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනය වූ අද (9 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියේය.


දිනය නිමාවන විට නායක කේන් විලියම්සන් ලකුණු 78 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ජීතන් පටේල් 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වැනි අර්ධ ශතකය ලබාගත් විලියම්සන්, එය හතරේ පහර 11 කින් අලංකාර කළේය.


ආරම්භක පිතිකරු ජීත් රාවල් (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩගනමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද විලියම්සන් සමත් විය. රාවල්ගේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.


මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට ලකුණු 10 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ටොම් ලේතම් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කිරීමට වර්නන් පිලැන්දර් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක්ගේ සහායද ඇතිවය. පාදයේ මස්පිඩු පෙරළීමක් නිසා රොස් ටේලර්ටද පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.


ඉන් අනතුරුව පිටියට පිවිසි හෙන්රි නිකලස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ලකුණු 12 ක් ලබා සිටියදී කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ හසීම් අම්ලා අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.


පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 79 ක් එක් කරගත්හ.


දෙවැනි දිනය ආරම්භ වන විට නොදැවී ලකුණු 128 ක් ලබා සිටි ඩීන් එල්ගාගේ ඉනිම ලකුණු 140 කට සීමා කිරීමට නීල් වෝග්නර් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලිංගේ සහායද ඇතිවය.


හතරේ පහර 10 ක් සමගින් ලකුණු 64 ක් ලබා සිටි ටෙම්බා බවුමා නවසීලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීගියේ ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ බී. ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමිනි.


බවුමාගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 29 ක් තුළ නවසීලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුලු 3 ද බිඳ වැටුණ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටේ‍රන් බෝල්ට් ලකුණු 64 කට කඩුලු 4 ක් දවාගත්තේය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 308

(ඩීන් එල්ගා නොදැවී 140, ෆෆ් ඩුප්ලෙසි 52, ටෙම්බා බවුමා 64, වර්නන් පිලැන්දර් 21, ටේ‍රන්ට් බෝල්ට් 64/4, නීල් වෝග්නර් 88/3, ජීතන් පටේල් 85/2)


නවසීලන්තය පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 177

(ජීත් රාවල් 52, කේන් විලියම්සන් නොදැවී 78, කේෂව් මහරාජ් 57/2)

 

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.