TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාව ලකුණු 5 කින් ඉදිරියට

Views 726 10 March 2017 19:33

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඩුනෙඩීන්හි විශ්ව විද්‍යාල ක්‍රීඩාගංණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු තවත් කඩුලු 9 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටිති.


දිනය නිමාවන විට ඩීන් එල්ගා ලකුණු 12 ක්ද, හසීම් අම්ලා 23 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ආරම්භක පිතිකරු ස්ටීවන් කුක් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලින්ගේද සහාය ඇතිවය.


දෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 164 ක් එක්කර ගත්හ. එහිදී සිය 16 වැනි ටෙස්ට් ශතකය ලබාගත් නායක කේන් විලියම්සන් එය හතරේ පහර 18 කින් සැරසීය.


බී. ජේ. වොට්ලින් (50) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ විලියම්සන්, කෙමෙන් කෙමෙන් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. වොට්ලින් 17 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්තර්ගත විය.


දක්ෂ පන්දු යැවීමක නිතර වූ කේෂව් මහරාජ් ලකුණු 94 කට කඩුලු 5 ක් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කළ අතර මෝනි මෝකල් සහ වර්නන් පිලැන්දර් කඩුලු 2 බැගින් දවාගනිමින් මහරාජ්ට අනගි සහයක් දුන්හ.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 308

නවසීලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 341
(ජීත් රාවල් 52, කේන් විලියම්සන් 130, ජීතන් පටේල් 16, බී. ජේ. වොට්ලින් 50, නීල් වෝග්නර් 32, කේෂව් මහරාජ් 94/5, මෝනි මෝකල් 62/2, වර්නන් පිලැන්දර් 67/2)

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 38
(හසීම් අම්ලා නොදැවී 23)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.