TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාව ලකුණු 191 ක් ඉදිරියෙන්

Views 916 11 March 2017 20:21

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඩුනෙඩීන්හි විශ්ව විද්‍යාල ක්‍රීඩාගංණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු තවත් කඩුලු 4 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 191 ක් ඉදිරියෙන් සිටිති.


දිනය නිමාවන විට නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 56 ක්ද, වර්නන් පිලැන්දර් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී සිය ටෙස්ට් දිවියේ 11 වැනි අර්ධ ශතකය ලබාගත් ඩුප්ලෙසි, එය හතරේ පහර 10 කින් අලංකාර කළේය.


තෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දිනයේදී කඩුලු 5 ක් දැවී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 186 ක් එක්කර ගත්තේය.


පළමු ඉනිමේදී ශතකයක් (140) ලබාගත් ඩීන් එල්ගා, දෙවැනි ඉනිමේදීද දකුණු අප්‍රිකානු පිලේ සාර්ථකම පිතිකරුවා බවට පත්වෙමින් සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 249 වාර්තා වූ එල්ගාගේ ඉනිමට (89) හතරේ පහර 9 ක් අන්තර්ගත විය. ශතකය පෙනි පෙනී ජීතන් පටේල්ගේ පන්දුවක් හමුවේ නායක කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවීගියේය.


ජේ. පී. ඩුමිනි (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩීන් එල්ගා, ඉන් නොනැවති ෆෆ් ඩුප්ලෙසි සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  


දිනයේ පළමු කඩුල්ල ලෙස හතරේ පහර 5 ක් සමගින් ලකුණු 24 ක් ලබා සිටි හසීම් අම්ලා පිටියෙන් ඉවත් කිරීමට නීල් වෝග්නර් සමත් විය. ටෙම්බා බවුමාට (6) මෙන්ම ක්වින්ටින් ඩි’කොක්ටද (4) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීම සඳහා අවස්ථාවක් හිමි නොවූ අතර මිචෙල් සෑන්ට්නර්ගේ සහ ජීතන් පටේල්ගේ පන්දු හමුවේ කඩුලු පූජා කරමින් ඔවුහු ආපසු ක්‍රීඩාගාරය බලා ගියහ.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 308

නවසීලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 341

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 224
(ඩීන් එල්ගා 89, හසීම් අම්ලා 24, ජේ. පී. ඩුමිනි 39, ෆෆ් ඩුප්ලෙසි නොදැවී 56, නීල් වෝග්නර් 57/2, ජීතන් පටේල් 72/2)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.