TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දීය පිලෙන් සාර්ථක ආරම්භයක්

. Views 732 17 March 2017 22:10

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ රාංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දියාව කඩුලු 9 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 331 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට මුරලි විජේ ලකුණු 42 ක්ද, චෙතේෂ්වර් පුජාරා ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී සිට 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලෝකේෂ් රාහුල්, හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. මුරලි විජේ සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද ලෝකේෂ් රාහුල් සමත් විය.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 152 ක් එක්කරගත්හ.

සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමෙන් අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් (104) දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමිනි. ඒ වන විට ඔහු සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සරසා තිබිණ.

ඉනිම නිමා වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 178 ක් රැස්කළේ හතරේ පහර 17 ක් සමගිනි. ඕස්ට්‍රේලියානු ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් සමග එක්ව ලකුණු 191 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මිත් සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා ලකුණු 124 කට කඩුලු 5 ක් දවාගත් අතර අද දිනයේදී බිඳවැටුණ කඩුලු 6 න් 4 කටම හිමිකම් කීමටද ඔහු සමත් විය. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජොෂ් හෙසල්වුඞ් දුවද්දී දවාගැනීමකට හසුකරගැනීම සඳහාද ජදේජා සහාය විය.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 451
(මැට් රේන්ෂෝ 44, ඬේවිඞ් වෝනර් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 178, පීටර් හැන්ස්ඞ්කොම්බ් 19, ග්ලේන් මැක්ස්වෙල් 104, මැතිව් වේඞ් 37, ස්ටීව් ඕ’කේෆ් 25, රවින්ද්‍ර ජදේජා 124/5, උමේෂ් යාදව් 105/3)

ඉන්දියාව පළමු ඉනිම - කඩුල්ලක් දැවී 120
(ලෝකේෂ් රාහුල් 67, මුරලි විජේ නොදැවී 42)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.