TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාව ලකුණු 81 ක් ඉදිරියෙන්

. Views 716 17 March 2017 22:02

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 9 ක් දැවී ලකුණු 349 ක් ලබා සිටියේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් කඩුල්ලක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 81 ක් ඉදිරියෙන් සිටින අතර දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටි වර්නන් පිලැන්දර් ලකුණු 36 ක්ද, මෝනි මෝකල් ලකුණු 31 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර 10 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩගනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 47 කි.

ලකුණු 94 කට කඩුලු 6 ක් බිඳවැටී දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරු තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටෙම්බා බවුමා (89) සහ ක්වින්ටින් ඩි’කොක් (91) සිය කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට සමත් වූහ.

දක්ෂ පිතිහරඹයක නිතර වුවත් ඉතා අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනාම ශතක පෙනි පෙනී දැවී ගියහ. බවුමාගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර ඩි’කොක්ගේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද දිනයේදී කඩුලු 7 ක් දැවී සිය පළමු ඉනිමට තවත් ලකුණු 325 ක් එක් කරගත්හ.

කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් සහ නීල් වොග්නර් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පීඩනයට පත්කළ අතර ටිම් සවුති කඩුලු 2 ක් දවාගනිමින් ඒ සඳහා අනගි සහායක් දැක්වීය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 268
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 349

(හසීම් අම්ලා 21, ජේ. පී. ඩුමිනි 16, ෆෆ් ඩුප්ලෙසි 22, ටෙම්බා බවුමා 89, ක්වින්ටින් ඩි’කොක් 91, වර්නන් පිලැන්දර් නොදැවී 36, මෝනි මෝකල් නොදැවී 31, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 52/3, නීල් වොග්නර් 96/3, ටිම් සවුති 98/2)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.