TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක පහසු ජයක්

. Views 586 18 March 2017 16:20

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමට තවත් දින 2 ක්ම ඉතිරිව තිබියදී ඉන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භයේදීම 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 81 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගිය අතර හසීම් අම්ලා නොදැවී ලකුණු 38 ක්ද, ජේ. පී. ඩුමිනි නොදැවී ලකුණු 15 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 48 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය වන ස්ටීවන් කුක් (11) සහ ඩීන් එල්ගා (17) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටිම් සවුති සහ නීල් වෝග්නර් සමත් වූහ. ජේම්ෂ් නීෂම් අතට උඩ පන්දුවක් දෙමින් ස්ටීවන් කුක් දැවී ගිය අතර කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලින් අතට උඩ පන්දුවක් දෙමින් නීල් වෝග්නර් දැවී ගියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා ලකුණු 91 පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමට කේෂව් මහරාජ්ගේ සහ මෝනි මෝකල්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. නායක කේන් විලියම්සන් (1), ටොම් ලේතම් (6) සහ නීල් බෘම් (20) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරීමට මෝනි මෝකල් සමත් වූ අතර නවසීලන්ත දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 7 න් 6 කටම හිමිකම් කීමට කේෂව් මහරාජ් සමත් විය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මාවා යෑමටත් පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී, නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිතර වූ ආරම්භක පිතිකරු ජීත් රාවල් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) කඩුලු 9 ක් දැවී ලකුණු 349 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ජීතන් පටේල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ලකුණු 40 ක් ලබා සිටි මෝනි මෝකල් දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 268
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 359

(හසීම් අම්ලා 21, ජේ. පී. ඩුමිනි 16, ෆෆ් ඩුප්ලෙසි 22, ටෙම්බා බවුමා 89, ක්වින්ටින් ඩි’කොක් 91, වර්නන් පිලැන්දර් නොදැවී 37, මෝනි මෝකල් 40, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 52/3, නීල් වොග්නර් 102/3, ටිම් සවුති 98/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 171
(ජීත් රාවල් 80, නීල් බෘම් 20, බී. ජේ. වොට්ලින් 29, කේෂව් මහරාජ් 40/6, මෝනි මෝකල් 50/3)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 83
(ඩීන් එල්ගා 17, හසීම් අම්ලා නොදැවී 38, ජේ. පී. ඩුමිනි නොදැවී 15)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.