TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

පුජාරාගේ ශතකයෙන් ඉන්දියාව හිස ඔසවයි

. Views 723 18 March 2017 17:08

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ රාංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (18 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දියාව කඩුලු 4 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 91 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට චෙතේෂ්වර් පුජාරා ලකුණු 130 ක්ද, රිදිමන් සාහා ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුරලි විජේ (82) සහ චෙතේෂ්වර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණ 102 කට සීමා කරමින් දිනයේ පළමු කඩුල්ල ලෙස මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට ස්ටීව් ඕ’කේෆ් සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී යන විට විජේගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

දිනය පුරා කඩුල්ලේ රැදී සිටිමින් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වු චෙතේෂ්වර් පුජාරා, එහිදී සිය 11 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ හතරේ පහර 17 ක්ද ඊට අන්තර්ගත කරමිනි.

මුරලි විජේගේ දැවී යාමෙන් අනතුරව අජින්ක්‍යා රහනේ (14) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් සම්බන්ධතාවක්ද, කරුන් නායර් (23) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ පුජාරා, ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ දැමුවේය.

නායක විරාට් කෝලිට (6) මෙන්ම රවිචන්ද්‍රන් අෂ්වින්ටද (3) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර පැට් කමින්ස්ගේ පන්දු හමුවේ පිළිවෙලින් ස්ටීව්න් ස්මිත්ට සහ මැතිව් වේඞ්ට උඩ පන්දු ලබා දෙමින් ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත්ව ගියහ.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 451
ඉන්දියාව පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 360

(ලෝකේෂ් රාහුල් 67, මුරලි විජේ නොදැවී 82, චෙතේෂ්වර් පුජාරා නොදැවී 130, කරුන් නායර් 23, රිදිමන් සාහා 18, පැට් කමින්ස් 59/4)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.