TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

බංග්ලාදේශයට ජය ගෙන දුන් හතුරුසිංහගේ පාඩම

දමින්ද විජේසූරිය Views 5575 19 March 2017 22:44

මාස පහකට ඉහතදී ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වීමත් සමගම බංග්ලාදේශ පිලට විශ්වාසනීයත්වය එන්නත් විය. එහෙත් ඉන් පසුව පැවති තරග දෙකකදීම නවසීලන්තය සහ ඉන්දියාව පරාජය කිරීමේ අවස්ථා දෙකක්ම උදාවූ නමුත් ඒ අවස්ථා දෙකම මඟ හැරී ගියේ බංග්ලාදේශ පිතිකරුවන් දෙවැනි ඉනිමේදී දැක්වූ දුර්වලතා හේතුවෙනි. තවත් ආකාරයකින් කිවහොත් අත්දැකීම් මඳ වූ බැවිනි.

බංග්ලාදේශ පිලේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අගනා අත්දැකීම් ඇති අයෙකි.

කොළඹ එස්. එස්. සී. පිටියේදී 1992 දී පැවැති තරගයේදී ඕස්ටේ්‍රලියානු පිල පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 181 ක් හඹා ගියේය. එදා ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කළ හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ දෙදෙනා අද දෙපිලේය. එහෙත් වසර 25 කට ඉහත, එස්.එස්.සී. තණතීරුවේ දෙදෙනා එකට රැඳී සිටියදී ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 79 ක් ලෙසිනි. එදා හතුරුසිංහ දැවී යාමත් සමගින් ඉතිරි කඩුලු 8 ම ලකුණු 85 කට බිඳ වැටුණ හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16 කින් පරාජය විය. එදා එම ඉනිමේදී ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ගෙන් කඩුල්ල බේරාගත් එකම පිතිකරුවා වූ ගුරුසිංහ (නොදැවී 31) අවශ්‍ය අවස්ථාවේදී ප්‍රහාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මදියි නොකියන්නට බැණුම් ඇසූ ආකාරයද හතුරුසිංහට හොඳින් මතක තිබුණේය.

එයින් මාස හතකට පසුව එස්. එස්. සී. පිටියේදීම එංගලන්තය පරාජය කළ කණ්ඩායමේත් සාමාජිකයකු වූ හතුරුසිංහ දුටුවේ මුහුණ දුන් පළමු පන්දුවම නරඹන්නන් අතරට යැවූ සනත් ජයසූරිය තරගය අවසන් කළ ආකාරයයි.

කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ අරමුණ ඇතිව එන එන පන්දුව හමුවේ ‘තට්ටු දමමින්’ සිටිනවාට වඩා අත දිගහැර පහර දෙකක් දී පන්දු යවන්නන් මෙල්ල කරගැනීමේ පාඩම හතුරුසිංහ මහතා උගත්තේ 1993 දීය. ඔහු එම පාඩම කදිමට බංග්ලාදේශ පිලට කියා දුන්නේය.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද දිවා ආහාරයට පෙර තට්ටු දමමින් සිට ලකුණ 22 කට කඩුලු 2 ක් අහිමි කරගත් බංග්ලාදේශ පිල දිවා ආහාරයෙන් පසුව ලකුණු හඹා යන්නට පටන් ගත්තේය. ටමීම් ඉක්බාල් (70) සහ ශබීර් රහමන් (38) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 109 ක සම්බන්ධතාව වෙනුවෙන් වැය කළේ විනාඩි 107 ක් පමණි.

මෙම ප්‍රහාරාත්මක සම්බන්ධතාව කාලය ඉතිරි කරගත්තා පමණක් නොව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවීමටද බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. ලකුණු සංඛ්‍යාව 131 ක් වෙද්දී ටමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් වන විට ඉතිරි ලකුණු 60 ලබාගැනීම සඳහා බංග්ලාදේශ පිලට ඕවර 37 ක් සමගින් කඩුලු 8 ක් ඉතිරිවී තිබිණ. බංග්ලාදේශ ජයග්‍රහණයේ පදනම වූයේ එයයි.

“මගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේදී මේ වගේ අවස්ථාවකට මීට පෙර කිසිදා මුහුණ දීලා තිබුණෙ නෑ. මේ වගේ තණතීරුවකදී, ටෙස්ට් තරගය පස්වැනි දිනයේ, ලකුණු හඹා යාම අපට අලුත් දෙයක්”
“අපට ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ක විතර සම්බන්ධතාවක් ඕනෑ කර තිබුණා. ඒත් ටමීම් සහ ශබීර් දෙන්නාගේ ශතක සම්බන්ධතාව නිසා අපේ ගමන ගොඩාක් පහසු වුණා” යයි තරගයෙන් අනතුරුව බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් පැවසීය.

ශ්‍රී ලංකා නායක රංගන හේරත් තුළද විශ්වාසනීයත්වය තිබිණ. හේරත් තුළ පමණක් නොව සරවනමුත්තු ක්‍රීඩාංගණයේ සිටි බොහෝ දෙනා තුළ ඒ විශ්වාසනීයත්වය තිබිණ.

සෙනසුරාදා දිනයේ ලකුණු 139 ක වාසියක් සහිතව සිටි ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනා කියා සිටියේ ලකුණු 175 ක් තියේ නම් තරගය ජයගත හැකි බවයි. අවසානයේදී ඉලක්කය ලකුණු 191 ක් වූවත් එය බංග්ලාදේශ පිතිකරුවන්ට පහසු එකක් විය.

“මා හිතුවා ඒ ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගන්න පුළුවන් කියලා. අපි ඉන්දියාව, පාකිස්තානය වගේ කණ්ඩායම් එක්කත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවන් ආරක්‍ෂා කරගෙන තියෙනවා”

“කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් තිදෙනකු හිටපු නිසා අපට තරගය ජයගන්න පුළුවන් කියා ලොකු විශ්වාසයක් මට තිබුණා.....අපි වේලාසනින්ම කඩුලු දෙකක් දවාගත්තත් දිවා ආහාරයෙන් පස්සේ ඔවුන් ප්‍රහාරය පටන් ගත්තා. එයින් තරගය අපෙන් ගිළිහී ගියා” යයි රංගන හේරත් කීවේය.

තමන්ගේ 40 වැනි උපන් දිනය දා ලද පරාජය නිසා මහත් සන්තාපයට පත්ව සිටි රංගන හේරත් කීවේ මෙය තමන්ගේ තරග දිවියේ ඉතා අසීරු දවසක් බවයි.

“ක්‍රීඩාවේදි නැගීම් වගේ වැටීම් තියෙනවා. මා ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකදීම ක්‍රීඩා කර පරාජය වූ කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ක්‍රීඩාවේ හැටි එහෙම තමයි” යයි කී හේරත් සකිබ් අල් හසන්ගේ උඩපන්දුව ගිළිහී යාම ශ්‍රී ලංකා පිලේ පරාජයට බෙහෙවින් බලපෑ බවද කීවේය.

“සකිබ් ලකුණු 11 ක් ලබා සිටියදී අපෙන් ඔහුගේ උඩපන්දුව ගිළිහී ගියා. ඔහු ශතකයක් ලබාගත්තා..ඒ වගේ වැරදි වෙන්න බෑ. අපට තව ගොඩාක් දේ කරන්න තිබෙනවා” යයිද පැවසීය.

(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.