TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාව කඩුලු 4 කට 123 යි

. Views 441 25 March 2017 19:53

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ පළමු දින වූ අද (25 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය ඕවර 41 කට සීමා වූ අතර තේ පානයෙන් මඳ වේලාවකට පසු තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි නායක ෆෆ් ඩුප්ලෙසි නොදැවී ලකුණු 33 ක්ද, ටෙම්බා බවුමා නොදැවී ලකුණු 13 ක්ද ලබා සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ලකුණු 5 ක් ලබා සිටි ඩීන් එල්ගාගේ කඩුල්ල බිඳ දැමීමට කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් සමත් විය. තියුනිස් ඩි’බෘයින් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත්ව ගියේ මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමිනි.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමට ජවයක් ලබාදීමට හසීම් අම්ලා (50) සහ ජේ. පී. ඩුමිනි (20) සමත් වුවත්, මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ජීතන් පටේල් අතට උඩ පන්දුවක් දෙමින් ඩුමිනි දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ හසීම් අම්ලා හතරේ පහර 9 ක් සමගින් සිය 32 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා දකුණු අප්‍රිකානු ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 123
(හසීම් අම්ලා 50, ජේ. පී. ඩුමිනි 20, ෆෆ් ඩුප්ලෙසි නොදැවී 33, ටෙම්බා බවුමා නොදැවී 13, මැට් හෙන්රි 25/2, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 43/2)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.