TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඕස්ට්‍රේලියානු පිල 300 කට දැවීයයි

. Views 677 25 March 2017 20:40

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු දිනය වූ අද (25 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු නොළබා සිටියේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 88.3 ක් පන්දුවට පහරදුන් බැවින් ඉන්දීය කණ්ඩායමට අද දිනයේදී පන්දුවට පහරදීමට සිදුවූයේ එක් ඕවරයක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වට විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු මැට් රේන්ෂෝ (1) පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් විය. කෙසේ වුවත් ඬේවිඞ් වෝනර් (56) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ස්ටීවන් ස්මිත් (111) ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ අජින්කයා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් ඬේවිඞ් වෝනර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටුණ අතර වෝනර්ගේ 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් සිය 20 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත් එය හතරේ පහර 14 කින් සැරසීය. මෙය ස්මිත්ගේ 54 වැනි ටෙස්ට් තරගය වන අතර මේ දක්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළදී ශතක 20 ක් සහ අර්ධ ශතක 20 ක් ලබාගැනීමට ඔහු සමත් වීම සුවිශේෂී දක්ෂතාවක් ලෙස හැදින්විය හැකිය.

වෝනර්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ෂෝන් මාර්ෂ්ට (4), පීටර් හෑන්ඞ්ස්කොම්බ්ට (8) මෙන්ම ග්ලේන් මැක්ස්වෙල්ටද (8) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබිණ. උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහ අතට උඩපන්දුවක් දෙමින් මාර්ෂ් දැවී ගිය අතර හෑන්ඞ්ස්කොම්බ්ගේ සහ මැක්ස්වෙල්ගේ කඩුලු බිඳ දැමීමට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුල්දීප් යාදව් සමත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 208 ක් වන විට රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් ශතකයක් ලබා සිටි ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත්ව ගියේ ඕස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල බවට පත්වෙමිනි.

ඉන් අතතුරුව ක්‍රියාත්මක වූ මැතිව් වේඞ් ලකුණු 57 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 300 සීමාව කරා කැඳවාගෙන ගිය අතර ඔහුගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ඇතිවූ දකුණු උරහිසේ අබාධ තත්ත්වයක් නිසා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි මෙම තරගයට සහභාගි නොවන අතර අජින්ක්‍යා රහනේ මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවයි.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.