TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

දකුණු අප්‍රිකාව ලකුණු 247 ක් ඉදිරියෙන්

. Views 672 26 March 2017 22:09

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දින වූ අද (26 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 67 ක් ලබා සිටියේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ම අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 247 ක් පසුපසින් සිටින අතර නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ටොම් ලේතම් ලකුණු 42 ක්ද, ජීත් රාවල් ලකුණු 25 ක්ද ලබා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 191 ක් එක්කර ගත්හ.

දිනයේ පළමු කඩුල්ල ලෙස හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් ලබා සිටි ටෙම්බා බවුමා පිටියෙන් ඉවත් කිරීමට මැට් හෙන්රි සමත් වූ අතර ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

බවුමාගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ක්වින්ටින් ඩි’කොක් හයේ පහර 2 ක් සහ හතුරේ පහර 11 ක් සමගින් ලකුණු 90 ක් රැස්කළ අතර නිල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සිවුවැනි ටෙස්ට් ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

නායක ෆෆ් ඩුප්ලෙසි (53) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා (34) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලකුණු 300 සීමාව දක්වා ඔසවා තැබීය.

මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ඩුප්ලෙසිගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 9 ක් අන්තර්ගත වී තිබූ අතර නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ බී. ජේ. වොට්ලිං අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට කගිසෝ රබාඩාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මැට් හෙන්රි ලකුණු 93 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නිල් වෝග්නර් ලකුණු 104 කට කඩුලු 3 ක් දවාගත්තේය.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 314
(හසීම් අම්ලා 50, ජේ. පී. ඩුමිනි 20, ෆෆ් ඩුප්ලෙසි 53, ටෙම්බා බවුමා 29, ක්වින්ටින් ඩි’කොක් 90, කගිසෝ රබාඩා 34, මැට් හෙන්රි 93/4, නිල් වෝග්නර් 104/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 62/2)

නවසීලන්තය පළමු ඉනිම - කිසිවකු නොදැවී 67
(ටොම් ලේතම් නොදැවී 42, ජීත් රාවල් නොදැවී 25)


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.