TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

නේදන් ලයන් ඉන්දීය ඉනිම අඩපණ කරයි

. Views 1799 26 March 2017 22:36

සංචාරක ඕස්ට්‍රේෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව ඕස්ට්‍රේෙලියාවට වඩා තවත් ලකුණු 52 පසුපසින් සිටින අතර දිනය නිමාවන විට රිදිමන් සාහ ලකුණු 10 ක්ද, රවින්ද්‍ර ජදේජා ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ (11) පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් හෙසල්වුඞ් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

මුරලි විජේගේ දැවී යෑමෙන් අනතුරුව ලෝකේෂ් රාහුල් (60) සමග එක්වූ චෙතේෂ්වර් පුජාරා (57) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ලෝකේෂ් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

නේදන් ලයන්ගේ පළමු ගොදුර බවට පත්වෙමින් පුජාරා දැවී ගියේ පීටර් හෑන්ඞ්ස්කොම්බ් අතට උඩපන්දුවක් දෙමිනි. රාහුල්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පුජාරාගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

නායක අජින්ක්‍යා රහනේට (46) සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතර උඩ පන්දුවක් දීම හේතුවෙනි.

කරුන් නායර්ට (5) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ නොදුන් නේදන් ලයන්, ලකුණු 30 ක් ලබා සිටි රවිචන්ද්‍රන් අෂ්වින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.

ඕස්ට්‍රේෙලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 248
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රවින්ද්‍ර ජදේජා නොදැවී 16, නේදන් ලයන් 67/4)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.