TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

. Views 895 28 March 2017 18:46

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම, ඉන් කඩුලු 8 කින් ජය ලැබීමට ඉන්දීය කණ්ඩාය අද (28 වැනිදා) සමත් විය.

ඒ අනුව දෙරට අතර තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවින්ද්‍ර ජදේජා සිවුවැනි තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිතරු ලොකේෂ් රාහුල් (නොදැවී 51) සහ නායක අජින්ක්‍යා රහනේ (නොදැවී 38) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ලෝකේෂ් රාහුල්ගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර අජින්ක්‍යා රහනේගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

සිවුවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ඉතිරි ලකුණු 87 අද දිනයේ දිවා ආහරයට පෙර රැස්කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

ඉන් පසුව පිටියට පිවිසි චෙතේෂ්වර් පුජාරාට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව නොලැබුණ අතර ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ඔහු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 332
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රිධිමන් සාහ 31, රවින්ද්‍ර ජදේජා 63, නේදන් ලයන් 95/5, පැට් කමින්ස් 94/3)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 137  
(ස්ටීවන් ස්මිත් 17, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 18, ග්ලේන් මැක්ස්වෙල් 45, මැතිව් වේඞ් නොදැවී 25, රවින්ද්‍ර ජදේජා 24/3, රවිචන්ද්‍රන් අෂ්වින් 29/3, උමේෂ් යාදව් 29/3)

ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 106
(ලෝකේෂ් රාහුල් නොදැවී 51, අජින්ක්‍යා රහනේ නොදැවී 38)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.