TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

දමින්ද විජේසූරිය Views 2497 1 April 2017 11:00

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී තමන් සතු වාසිය මේ යයි කදිමට තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 70 ක පහසු ජයක් වාර්තා කළහ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් සමකිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක - ඇ.මහමදුල්ලා ප.මෙහෙදි හසන්    34
උපුල් තරංග - ප.ටස්කින් අහමඩ් 35
කුසල් මෙන්ඩිස් - ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 54
දිනේෂ් චන්දිමාල් - දුවද්දී දැවී ගියා  21
මිලින්ද සිරිවර්ධන - දුවද්දී දැවී ගියා 12
අසේල ගුණරත්න - ඇ.මහමදුල්ලා ප.මොර්ටසා 34
තිසර පෙරේරා - ඇ.ටස්කින් අහමඩ් ප.මොර්ටසා 52
සීකුගේ ප්‍රසන්න - ඇ.මහමදුල්ලා ප.මුස්ටෆිසුර් 01
ඩිල්රුවන් පෙරේරා - ඇ.ටමීම් ඉක්බාල් ප.මොර්ටසා  15
නුවන් කුලසේකර - නොදැවී  01
සුරංග ලක්මාල්  - නොදැවී  02
අතිරේක (ප.ල - 2, ව.ප. - 17) 19
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී  280
කඩුලු වැටීම 
1-76(ධනුෂ්ක), 2-87(තරංග), 3-136(චන්දිමාල්), 4-194(මෙන්ඩිස්), 5-194(මෙන්ඩිස්), 6-216(අසේල), 7-230(සීකුගේ), 8-275(ඩිල්රුවන්), 9-277(තිසර)
පන්දු යැවීම
මෂ්රාෆි මෝර්ටසා 10-0-65-3  
මුස්ටෆිසුර් රහමන් 10-0-55-0  
මොහෙදි හසන් 10-1-49-1  
ටස්කින් අහමඩ් 8-1-50-1  
මහමදුල්ලා  1-0-05-0  
සකිබ් අල් හසන්  8-1-41-0  
මොසඩක් හොසේන් 3-0-13-0  
බංග්ලාදේශය
ටමීම් ඉක්බාල් - ඇ.සහ ප.කුලසේකර 04
සෞම්‍ය සාර්කර් - ස්ට.චන්දිමාල් ප.ඩිල්රුවන් 38
ශබීර් රහමන් - ඇ.චන්දිමාල් ප.කුලසේකර 00
මුෂ්ෆිකුර් රහීම් - ක.මු.කළා. ප.ලක්මාල් 00
සකිබ් අල් හසන්  - ඇ.ගුණතිලක ප.ඩිල්රුවන් 54
මොසඩක් හොසේන් - ප.සීකුගේ ප්‍රසන්න 09
මහමදුල්ලා - ඇ.චන්දිමාල් ප.ලක්මාල් 07
මෙහෙදි හසන් - ඇ.තරංග ප.කුලසේකර 51
මෂ්රාෆි මෝර්ටසා - ඇ.සහ ප.සීකුගේ ප්‍රසන්න 16
ටස්කින් අහමඩ් - ඇ.ගුණරත්න ප.කුලසේකර 14
මිස්ටෆිසුර් රෙහෙමාන් - නොදැවී 01
අතිරේක (ප.ල - 2, ව.ප. - 14) 16
එකතුව ඕවර 44.3 කදී සියලු දෙනා දැවී  210
කඩුලු වැටීම
1-04(ටමීම් ඉක්බාල්), 2-10(ශබීර් රහමන්), 3-11(මුෂ්ෆිකුර් රහීම්), 4-88(සෞම්‍ය සාර්කර්), 5-111(මොසඩක් හොසේන්), 6-118(සකිබ් අල් හසන්), 7-127(මහමදුල්ලා), 8-155(මෂ්රාෆි මෝර්ටසා), 9-209(මෙහෙදි හසන්), 10-210(ටස්කින් අහමඩ්)
පන්දු යැවීම
නුවන් කුලසේකර 7.3-0-37-4  
සුරංග ලක්මාල්  8-0-38-2  
ඩිල්රුවන් පෙරේරා 10-1-47-2  
තිසර පෙරේරා 2-0-14-0  
අසේල ගුණරත්න  2-0-16-0  
සීකුගේ ප්‍රසන්න 10-1-33-2  
මිලින්ද සිරිවර්ධන 5-1-23-0  
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දමන ලදි. තුන්වැනි තරගයේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල ඕවර 44.3 කදී ලකුණු 210 කට සිරකර දැමීමට නුවන් කුලසේකර ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 11 ක් තුළදී දැවී ගියද සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සෞම්‍ය සාර්කර් සහ සකිබ් අල් හසන් බංග්ලාදේශයේ බලාපොරොත්තු රඳවා ගත්හ. 9 වැනි ඕවරය අවසානයේදී ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 3 කට 40 ක් ලෙසිනි. ඩිල්රුවන් පෙරේරාගේ පළමු ඕවරයේදී ලකුණු 20 ක් උදුරාගත් සාර්කර් සහ සකිබ් අල් හසන් දෙදෙනා 10 වැනි ඕවරය අවසන් වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය නැවතත් බංග්ලාදේශ පිලට ගෙන දුන්හ.

ඩිල්රුවන්ගේ සිවුවැනි ඕවරයේදී දිනේෂ් චන්දිමාල් විසින් සෞම්‍ය සාර්කර් ස්ටම්ප් කිරීමකට හසුකරගනු ලැබීමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ඕවර 15 ක් ඇතුළතදී, ලකුණු 67 ක් රැස්කෙරෙන අතරේ බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනකු දැවී ගිය අතර ඔවුන්ගෙන් සිවුදෙනකුගේ කඩුලු ඩිල්රුවන් පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න බෙදා ගත්හ. ඔවුන් දෙදෙනාගේම ඕවර 20 න් බංග්ලාදේශ පිලට ලබාගත හැකිවූයේ ලකුණු 80 ක් පමණි. වමත් පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකට එරෙහිව ඩිල්රුවන් පෙරේරා වැනි ඉදිරිපෙළ පිට දඟ පන්දු යවන්නකු පළමු තරගයේ සිටම යොදාගත්තා නම් තරගාවලියේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.

ලකුණු 155 කට කඩුල 8 ක් අහිමි කරගත් බංග්ලාදේශයේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙහෙදි හසන් සහ ටස්කින් අහමඞ් සමත් වූ නමුත් එය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ප්‍රමාද කිරීමක් මස වෙන යමක් නොවීය.  

තරග තුනකදී පිට පිටම දෙවැනි වතාවටත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීමට කර උර දුන් තිසර පෙරේරා ලබාගත් අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස්ගේ කල්පනාකාරී ඉනිමත් නිසා  නියමිත ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා විසින් දමා දුන් අඩිතාලම මත සිට ඉනිම ගොඩනැංවූයේ නම් ලකුණු 320 සීමාවෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් තිබුණ නමුත් ලකුණු 25 ක් තුළදී දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන දුවද්දී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ගමන අඩාළ විය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පෙරේරා යුගළය, (තිසර සහ ඩිල්රුවන්) ශ්‍රී ලංකා පිල සටනක් දිය හැකි සීමාවකට කැඳවාගෙන ආහ.

දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් ඒ වෙනුවෙන් පන්දු 73 ක් වැයවී තිබිණ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 11 ක් ඇතුළතදී දැවී ගිය හෙයින් තුන්වැනි කඩුල්ල ඉක්මනින්ම අහිමි කරගැනීමේ අවදානමට මුහුණ නොදුන් පිතිකරුවන් දෙදෙනා තරමක් කල්පනාවෙන් පන්දුවට පහර දුන්නේ කඩුලු රැකගැනීමෙන් පසුව ආක්‍රමණය දියත් කිරීමේ අරමුණ ඇතිවය.

සකිබ් අල් හසන්ගේ පන්දුවක් ස්වීපර් කවර් කලාපයට යැවූ චන්දිමාල් ලකුණු දෙකක් ලබාගත්තද දෙවැනි ලකුණු සම්පූර්ණ කළේ අළස ආකාරයෙනි. පන්දුව ආපසු කඩුල්ල කරා පැමිණෙන විට චන්දිමාල් සීමා ඉරෙන් ඇතුළත සිටි නමුත් ඔහුගේ පාදයෙන් හෝ පිත්තෙන් සීමා ඉරෙන් ඇතුළත පොළොව ස්පර්ශ නොවීම කඩුල්ල අහිමි වීමට කාරණාවක් විය. මිලින්ද සිරිවර්ධන ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේදී මුෂ්ෆිකුර් රහීම්ගේ අති විශිෂ්ට කඩුලු කඩා දැමීම හේතුවෙන් සිරිවර්ධන දැවී ගියේය.

මෙම දැවී යාම් දෙකම ශ්‍රී ලංකා පිලේ ලකුණු වේගය පහළ වැටීමට විශාල බලපෑමක් කළේය. පළමු ඕවර 10 නිමා වන විට ඕවරයක 7.6 ක් ව තිබූ ලකුණු වේගය සිරිවර්ධන දැවී යන විට 5.33 දක්වා පහළ වැටී තිබිණ.

ඉනිම අවසන් වීමට ඕවර 5 ක් ඉතිරිව තිබියදී හත්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 45 ක් එක්කළ හෙයින් ශ්‍රී ලංකා පිල ලකුණු 275 සීමාව පසුකර ගියේය.

තරග තුනකදී ශතකයක් සහ අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 160 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානය දිනාගනිද්දී ඉතාම අවශ්‍ය මොහොතේදී පන්දු 40 කින් ලකුණු 52 ක් ලබාගත් තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.