TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කුසල් පෙරේරා හෙට තරගයට සැරසෙයි

යොහාන් භාසුර Views 1879 3 April 2017 19:00

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වෙන පළමු තරගයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග අද (03) පස්වරුවේ පැවසීය.

විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර නායක උපුල් තරංග මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙසේ ද පැවසීය.

“කුසල් හෙට තරගයට සූදානමින් ඉන්වා. ඔහු පුහුණුවීම්වලට සහභාගි වුණා. 100% ක් සුවය ලබා ඉන්නේ. මෙම පුහුණු සැසියෙන් පසුව තමයි අවසන් කණ්ඩායම තීරණය කරන්නේ”

“ආරම්භක පිතිකරුවන් හැටියට මම, ධනුෂ්ක, කුසල් සහ මුණවීර ඉන්නවා. කණ්ඩායමේ සමබරතාව රැකෙන පරිදි අවසන් කණ්ඩායම තෝරාගත යුතුයි”

“මෙම සංචිතයට ලසිත් මාලිංග ඇවිත් ඉන්නවා. ඒ වගේම කුලසේකර, කපුගෙදර වගේ පළපුරුදු ක්‍රීඩකයන් ඉන්නවා.

විස්සයි20 තරගාවලියේ බලාපොරොත්තුව පිළිබඳව තරංග මෙසේ අදහස් දැක්වීය.

“මෙම සංචාරයේ ටෙස්ට් සහ එක්දින යන තරගාවලි දෙකම සම තත්ත්වයෙන් අවසන් වුණා. ඒ නිසා මෙම තරගාවලිය ජය ලැබීමට අපි තරග දෙකම ජය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”

“දකුණු අප්‍රිකාවේදී සහ ඕස්ටේ්‍රලියාවේදී විස්සයි20 තරගවලදී අපිට එම රටවල් දෙක පරාජය කරන්න හැකි වුණා. ඔවුන්ව එම රටවල්වලදීම පරාජය කිරීම පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා අපි හොඳ මානසික තත්ත්වයක තියෙනවා”

ශ්‍රී ලංකා සංචිතයේ එකම තරමක හෝ නමගිය පිට දඟ පන්දු යවන්නා වන ෂෙහාන් ජයසූරිය ඊයේ වන විටත් බංග්ලාදේශය රැදී සිටීම පිළිබඳව කළ විමසුමේදී තරංග මෙසේ පැවසීය.

“ෂෙහාන් ජයසූරිය එම තරගාවලිය අවසන් වී සංචිතයට එකතු වෙනවා. ෂෙහාන් සංචිතයේ ඉන්නේ පිතිකරුවක් හැටියටයි”

“මුණවීර තමයි පිට දඟ පන්දු යවන්නා හැටියට යොදා ගන්න හිතාගෙන ඉන්නේ. ඔහු බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරගාවලිවලට ද සහභාගි වෙලා පන්දු යවා තියෙන ක්‍රීඩකයෙක්”

“විශේෂඥා පන්දු යවන්නන් ඉන්න ඕන තමයි. නමුත් මාලිංග, කුලසේකර, ඉසුරු උදාන, සඳකැන්, සීකුගේ විස්සයි20 තරගවල පන්දු යවන්නන් තමයි. මම හිතන්නේ අවශ්‍යතාව අනුව ඕවරයක් හෝ යැවීම වැදගත්”
එක්දින තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් විස්සයි20 තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව තරංග මෙසේ අදහස් දැක්වීය.

“කුසල් මෙන්ඩිස් ටෙස්ට් සහ එක්දින හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් විස්සයි20 තරගවලදී ඔහු සාර්ථක වුණේ නෑ. මම හිතන්නේ තේරීම් කමිටුව ඔහුව එම දීර්ඝ අංශ දෙකේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව දී ප්‍රයෝජනය ගන්න සැළසුම් කරනවා ඇති”

බංග්ලාදේශ පිල ඊයේ රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ අවසන් පුහුණු සැසියට සහභාගි විය.

බංග්ලාදේශ විස්සයි20 සංචිතයට කෝඩුකාර 20 හැවිරිදි දකුණතින් වේග පන්දු යවන්න තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහොමඞ් සයිෆුඩීන් හෙට තරගයේදී විස්සයි20 අන්තර්ජාතික වරම් හිමිකර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

වමත් පිතිකරුවකු වන මොහොමඞ් සයිෆුඩීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පුහුණු එක්දින තරගයට ද සහභාගි විය.

බංග්ලාදේශ විස්සයි20 සංචිතයට එක්දින තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෝ 14 දෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි20 තරග 5 ක් පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තරග 4 ක් ජය ලබා ඇති අතර බංග්ලාදේශය තරගයක් පමණක් ජය ලබා තිබේ.     


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
උපුල් තරංග (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් ශානක, සංජය බණ්ඩාර, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය

බංග්ලාදේශ විස්සයි20 සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, ඉම්රුල් කයිස්, මුෂ්ෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, සබීර් රහමන්, මහුමුදුල්ලා, මොසඩෙක් හොසේන්, මුස්ටාෆිෂුර් රහමන්, මෙහිඩි හසන්, ටස්කින් අහමඞ්, සුබාෂිස් රෝයි, සුන්ෂමුල් ස්ලාම්, නුරුල් හසන් සහ මොහොමඞ් සයිෆුඩීන්

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.