TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කොළඹ - දඹුල්ල ලකුණු සමවෙයි

රොෂාන් ගුණරත්න Views 994 9 April 2017 21:02

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය ලකුණු සමවීමෙන් අවසන් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 289 ක් පමණි. අවසන් ඕවරය අසිත ප්‍රනාන්දු යවනු ලැබූ අතර ජයග්‍රහණය සදහා ලකුණු 7ක් ලබාගැනීමට අවශ්‍යවුවද දිනේෂ් චන්දිමාල් සහ සචිත්‍ර සේනානායකට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 6 ක් පමණි. අවසන් පන්දුවට ලකුණු දෙකක් අවශ්‍යවූ අතර පන්දුවට පහරදුන් දිනේෂ් චන්දිමාල්ගේ පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින්නා රැකගෙන පන්දුව කඩුල්ල වෙතට දමාගැසූ අවස්ථාවේදී ක්‍රීඩකයින් දෙපළ ලකුණක් සම්පූර්ණ කරගැනීමත් සමගින් දෙපිලෙහි ලකුණු සමවිය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ දිනේෂ් චන්දිමාල් පන්දු 123 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 123 ක් රැස්කළ අතර වනිඳු හසරංග සමගින් එක්ව හත්වැනි කඩුල්ල සදහා පන්දු 139 කදී ලකුණු 172 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ වනිඳු හසරංග පන්දු 70 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීම සදහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 50 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 289 ක් රැස්කිරීමට සමත්විය.

ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු මිලන්ත සිව්වැනි කඩුල්ල සදහා හර්ෂ කුරේ සමගින් එක්ව පන්දු 168 කදී ලකුණු 189 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. පන්දු 115 කට මුහුණදුන් ළහිරු මිලන්ත හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 106 ක් රැස්කළ අතර ශතකය අහිමිවුවද වේගවත් පිතිහරඹයක නිරතවූ හර්ෂ කුරේ පන්දු 88 කදීහයේ පහර තුනක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 94 ක් රැස්කිරීමට සමත්විය.


දඹුල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 289
(ළහිරු මිලන්ත 106, හර්ෂ කුරේ 94, කුසල් මෙන්ඩිස් 36, විශ්ව ප්‍රනාන්දු 48/2, තිසර පෙරේරා 63/2)

කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 289
(දිනේෂ් චන්දිමාල් නොදැවී 116, වනිඳු හසරංග 84, ශෙහාන් ජයසූරිය 47, ඩිල්රුවන් පෙරේරා 36/2, අසිත ප්‍රනාන්දු 59/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.