TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මහනුවරට තියුණු ජයක්

රොෂාන් ගුණරත්න Views 1390 9 April 2017 21:06


 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට නුවර කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය. අවසන් කඩුල්ල සදහා ළහිරු මදුශංක සහ ළහිරු ගමගේ එක්ව පන්දු 47 කදී පැවැත්වූ නොබිඳුණු ලකුණු 75 ක සම්බන්ධතාවය හේතුවෙන් මහනුවර කණ්ඩායමට ජය හිමිවිය. ළහිරු මදුශංක පන්දු 39 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කළ අතර ළහිරු ගමගේ පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.

හෂාන් දුමිඳු (76) සහ චරිත් අසලංක (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනාගත් නුවර කණ්ඩායමේ නායක චාමර කපුගෙදර පළමුව පන්දුවට පහරදිම සදහා ගාල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 347 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සධීර සමරවික්‍රම පන්දු 103 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර12 ක් සමගින් ලකුණු 109 ක් රැස්කළ අතර උපුල් තරංග සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 127 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය. උපුල් තරංග අර්ධ ශතකයක් ලබාගත් අතර කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමීම සදහා වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 17 කදී ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය. දසුන් ශානකගේ ඉනිමට හයේ පහර හතරක් සහ හතරේ පහරක් ඇතුළත්විය.

ළහිරු මදුශංක ලකුණු 61 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

 

ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 347
(සධීර සමරවික්‍රම 109, උපුල් තරංග 54, ධනංජය ද සිල්වා 40, දසුන් ශානක 40, ළහිරු මදුශංක 61/3, ළහිරු ගමගේ 77/2)

නුවර කණ්ඩායම - ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 349
(හෂාන් දුමිඳු 76, චරිත් අසලංක 51, ළහිරු මදුශංක නොදැවී 49, චාමර කපුගෙදර 44, අකිල ධනංජය 57/2, චතුරංග ද සිල්වා 64/2, ධනංජය ද සිල්වා 14/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.