TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

වෙත්තමුණි ඇදුරිඳු ‘බර්ටි‘ 96 දී දිවි ඉනිම නවතයි

. Views 3081 10 April 2017 17:49

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායමේ සිටි අග්‍රගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ බර්ටි විජේසිංහ මහතා අද අභාවප්‍රාප්ත විය. විජේසිංහ මහතා මියයන විට 96 වැනි වියේ පසුවිය.


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම සිලෝන් ඬේලි නිවුස් පුවත්පතේ ක්‍රීඩා කතුවරයා ලෙසින්ද සේවය කළ විජේසිංහ මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසින් මෙන්ම ගුරුවරයකු ලෙසින්ද කටයුතු කළේය.
 
වර්ෂ 1936 සිට 1939 දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ බර්ටි විජේසිංහ 1938 සහ 1939 යන වසර දෙකේදීම සාන්ත තෝමස් පිලේ නායකයා විය. 1939 නිල් මහ සටන ජයග්‍රහණයකින් කෙළවර කිරීමටද බර්ටි විජේසිංහ සමත් වූයේය. පාසල් වියෙන් පසුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ බර්ටි විජේසිංහ 1940 දශකයේ සිටම ලංකා කණ්ඩායම නියෝජනය කළ අති දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූයේය. ඕනෑම අවස්ථාවක පිතිකරුවකු හෝ ආරම්භක පන්දු යවන්නකු ලෙසින් ලංකා කණ්ඩායමට ඇතුළත් වීමේ හැකියාව තිබූ බර්ටි විජේසිංහට අවස්ථානුකූලව පිට දඟ පන්දු යැවීමේ හැකියාවද තිබිණ.

සුනිල්, සිදත් සහ මිත්‍ර යන වෙත්තමුණි සොහොයුරන්ට ක්‍රිකට් සිප්සතර කියාදුන් බර්ටි විජේසිංහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මෙන්ම එංගලන්තයේ නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් පුහුණුකරුවකු විය.

“ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි කිසියම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ සියල්ලම ඔහුට ණයයි” යයි ශ්‍රී ලංකාවේ පළමු වැනි ටෙස්ට් ආරම්භක පිතිකරුවා වන සිදත් වෙත්තමුණි මහතා ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රීඩා කර පසුකළෙකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පත්වූ අලංකාර පිතිකරුවකු වන අනුර තෙන්නකෝන් මහතා කියා තිබුණේ පාසල් වියේ සිට ක්‍රීඩා සමාජ මට්ටම දක්වා තමන්ගේ පිතිහරඹ රටාව ඔපමට්ටම් කරගැනීමට බර්ටි විජේසිංහ මහතා උපකාර වූ බවයි.

ශ්‍රී ලංකාවේ සිටි ක්‍රිකට් පුහුණුකරුවන් අතර විශිෂ්ටයකු ලෙසින් අවිවාදයෙන් සැලකෙන විජේසිංහ මහතා පිතිකරුවන් පුහුණුකිරීමට නම්දැරූ අයකු විය. ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ලංකා කණ්ඩායමේ නායකයකුව සිටි මයිකල් තිසේරා මහතා කියා සිටියේ විජේසිංහ මහතාගේ පිතිහරඹ තාක්‍ෂණය කිසිවකුට ළංවිය නොහැකි මට්ටමේ තිබුණ බවයි.

“විශේෂත්වය වුණේ විජේසිංහ මහතා ඒ හැම දෙයක්ම කළේ මුදල් අපේක්‍ෂාවකින් තොරවයි. ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ ආදරය නිසයි” යයිද මයිකල් තිසේරා මහතා පැවසීය.

බර්ටි විජේසිංහ මහතාගේ අවසන් කටයුතු බදාදා (12 වැනිදා) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

 

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.