TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මහනුවරට ලකුණු 19 ක ජයක්

ශානුක අරවින්ද Views 1912 12 April 2017 14:02

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 337 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 317 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ ළහිරු ගමගේ ලකුණු 46 කට කඩුලු 4 ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 23 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායම අමාරුවේ දැමීය.  

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හර්ෂ කුරේ (109) සහ කුසල් මෙන්ඩිස් (77) සමත් වුවද, එම සම්බන්ධතාව දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් ප්‍රමාණවත් නොවීය. පන්දු 119 කදි වාර්තා වූ හර්ෂ කුරේගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර පන්දු 66 කදී වාර්තා වූ කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 336 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ චාමර කපුගෙදර පන්දු 90 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 102 ක් රැස්කෙළ්ය.
ලකුණු 220 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 116 ක නොබිදුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ළහිරු මධුෂංක (නොදැවී 90) සහ රමිත් රඹුක්වැල්ල (නොදැවී 52) මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පන්දු 62 කදී වාර්තා වූ ළහිරු මධුෂංකගේ ප්‍රවේගකාරි ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත වූ අතර පන්දු 26 කදී වාර්තා වූ රමිත් රඹුක්වැල්ලගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් දවාගැනීමට ඩිල්රුවන් පෙරේරා, අසිත ප්‍රනාන්දු සහ නුවන් කුලසේකර සමත් වුවද, ඔවුන් තිදෙනාම අවසන් ඕවර කිහිපයේදී දැඩි ලෙස පහරකෑමකට ලක් වූහ.

දිල්රුවන්ගේ ඕවර 10 දී ලකුණු 70 ක්ද, අසිත ප්‍රනාන්දුගේ ඕවර 10 දී ලකුණු 71 ක්ද, නුවන් කුලසේකරගේ ඕවර 10 දී ලකුණු 72 ක්ද රැස්කිරීමට මහනුවර කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ.


මහනුවර කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 336
(චාමර කපුගෙදර 102, ළහිරු මධුෂංක නොදැවී 90, රමිත් රඹුක්වැල්ල නොදැවී 52, චරිත් අසලංක 25, දිල්රුවන් පෙරේරා 70/2, අසිත ප්‍රනාන්දු 71/2, නුවන් කුලසේකර 72/2)

දඹුල්ල කණ්ඩායම - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 317
(හර්ෂ කුරේ 109, කුසල් මෙන්ඩිස් 77, ළහිරු ගමගේ 46/4, ධනුෂ්ක ගුණතිලක 23/3)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.