TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මුරලිදරන්ට සම්මානය පිරිනැමීම ජූනි 7 දා ඕවල් පිටියේදී

. Views 1477 19 April 2017 19:47

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ‘යශෝරාවයේ නාමාවලිය’ට එක්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන මුත්තයියා මුරලිදරන්ට හිමි සමරු තිළිණය ලබන ජූනි මාසයේදී පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය නිවේදනය කරයි.

 මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කරගනු ලැබුවේ 2016 ජූලි මස 27 වැනිදාය. එම නාමාවලියට එක් වූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වී සිටී. ඒ සඳහා වන සමරු තිළිණය පිරිනැමීම විවිධ හේතු නිසා කල්දැමිණ.

ලබන ජූනි මාසයේ පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අතරතුරදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් විසින් හෝ ඔවුන් විසින් නම්කරනු ලබන නියෝජිතයකු විසින් මුරලිදරන්ට එම සමරු තිළිණය පිරිනමනු ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක්ද, එක්දින තරග 350 කදී කඩුලු 534 ක්ද, විස්සයි20 තරග 12 කදී කඩුලු 13 ක්ද බිඳ හෙළමින් දස්කම් දක්වා ඇත.

2002 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 51 කට කඩුලු 9 ක් දවාගැනීම ඔහුගේ ඉනිමක හොඳම පන්දුයැවීම වන අතර 1998 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදීම ලකුණු 220 කට කඩුලු 16 ක් දවාගැනීම ටෙස්ට් තරගයකදී හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.


- 036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.