TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

විලියම්ස් - ධවාන් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති

. Views 854 19 April 2017 19:57

අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 21 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි.

පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

ඇන්ජලෝ මැතිව්ස් (31) සමග එක්ව 5 වැනි වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩැගීමට ශ්‍රෙයාස් අයියර් සමත් වුවද, දිල්ලි කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 23 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට සෑම් බිලින්ස් ලකුණු 13 කට දැවී ගියද, එතැන් සිට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සංජු සැම්සන් (42) සහ කරුන් නායර් (33) සමත් වූහ. පන්දු 33 කදී වාර්තා වූ සංජු සැම්සන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස්කළ අතර සිය පළමු අයි. පී. එල්. තරගයට සහභාගි වූ කේන් විලියම්සන් පන්දු 51 කදී ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි.

ශිකර් ධවාන් (70) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 136 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 50 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ක්‍රිස් මොරිස් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමිනි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 කට 191  
(ශිකර් ධවාන් 70, කේන් විලියම්සන් 89, ක්‍රිස් මොරිස් 26/4)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 5 කට 176  
(සංජු සැම්සන් 42, කරුන් නායර් 33, ශ්‍රෙයාස් අයියර් නොදැවී 50, ඇන්ජලෝ මැතිව්ස් 31, මොහොමඞ් සිරාජ් 39/2)

-036

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.