TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

මහනුවරට ලකුණු 39 ක ජයක්

රොෂාන් ගුණරත්න Views 1123 23 April 2017 00:04

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 324 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 48.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 284 ක් පමණි. කුසල් ජනිත් (56), කුසල් මෙන්ඩිස් (59) සහ භානුක රාජපක්ෂ (81) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.


පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 65 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නායක චාමර කපුගෙදරගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ චාමර කපුගෙදර පන්දු 50 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.


හයවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 104 ක නොබිඳුණු සම්බන්දතාවයක් පැවැත්වීමට චාමර කපුගෙදර සහ සචිත් පතිරණ සමත්වූ අතර පළමු කඩුල්ල සදහා පන්දු 132 කදී ලකුණු 118 ක සම්බන්දතාවයක් පැවැත්විමට ධනුෂ්ක ගුණතිලක සහ දිල්හාන් කුරේ සමත්වූහ.


පන්දු 75 කදි හතරේ පහර හතක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර ලකුණුඅ 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට අශාන් ප්‍රියංජන සමත්විය.


මහනුවර කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 323
(ධනුෂ්ක ගුණතිලක 75, දිල්හාන් කුරේ 43, හෂාන් දුමිඳු 22, චරිත් අසලංක 35, චාමර කපුගෙදර නොදැවී 105, සචිත් පතිරණ නොදැවි 25, අශාන් ප්‍රියංජන 32/4)

දඹුල්ල කණ්ඩායම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(කුසල් ජනිත් 56, කුසල් මෙන්ඩිස් 59, භානුක රාජපක්ෂ 81, ඩිල්රුවන් පෙරේරා 36, චරිත් අසලංක 27/4, නුවන් ප්‍රදීප් 65/3)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.