TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

ශූරතාව කොළඹට

රොෂාන් ගුණරත්න Views 1588 29 April 2017 21:45

දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹයත් තිසර පෙරේරාගේ පන්දු යැවීමත් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 137 ක ජයක් හිමිකරගත් කොළඹ කණ්ඩායම ශූරතාව දිනාගැනීමට අද (29 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 30.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි.

ලකුණු 59 කට කඩුලු හතරක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සම්මු අශාන් (30) සහ චතුරංග ද සිල්වා (34) සමත්වු අතර නවවැනි කඩුල්ල සදහා වේගවත් පිතිහරඹයක නිරතවූ අකිල ධනංජය (24) සහ මාලින්ද පුෂ්පකුමාර (15) පන්දු 29 කදී ලකුණු 43 සම්බන්ධතාවයක් පැවැත්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ තිසර පෙරේරා ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සචිත්‍ර සේනානායක සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 307 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 96 කට කඩුලු 4 ක් දැවී තිබියදී දිනේශ් චන්දිමාල් සහ ශෙහාන් ජයසූරිය එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 133 කදී පැවැත්වූ ලකුණු 139 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කොළඹ කණ්ඩායමට හැකිවිය.

තරගාවලියේ දෙවැනි ශතකයත් වාර්තා කළ දිනේශ් චන්දිමාල් පන්දු 116 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. චන්දිමාල්ට අනගි සහයක් ලබාදුන් ශෙහාන් ජයසූරිය දැවීයන විටදී පන්දු 63 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.

 


කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 307
(ඩිල්ශාන් මුණවීර 27, කිත්රුවන් විතානගේ 25, දිනේෂ් චන්දිමාල් නොදැවී 113, ශෙහාන් ජයසූරිය 77, මාලින්ද පුෂ්පකුමාර 32/2, චතුරංග ද සිල්වා 53/2, අකිල ධනංජය 56/2, දසුන් ශානක 63/2)

ගාල්ල කණ්ඩායම - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී ලකුණු 170    
(සධීර සමරවික්‍රම 29, සම්මු අශාන් 30, චතුරංග ද සිල්වා 34, අකිල ධනංජය 24, තිසර පෙරේරා 42/4, සචිත්‍ර සේනානායක 34/2, දුෂ්මන්ත චමීර 40/2)

 


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.