TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

සුන්දර ජයග්‍රහණයකින් මිස්බා - යුනිස් සමුගනිති

Views 2533 15 May 2017 11:14

බටහිර ඉන්දීය කොදෙව් පිල අන්දමන්ද කළ විස්මිත පන්දු යැවීමක නිරතවූ යසීර් ෂා ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) නිමාව දුටු තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පාකිස්තානු පිලට ලකුණු 101 ක විශිෂ්ට ජයක් ගෙන දුන්නේය. මෙම ජයත් සමගින් සංචාරක පාකිස්තානුවෝ ටෙස්ට් තරගමාලාව 2-1 කින් ජයගත්හ. 

පාකිස්තානුවන් බටහිර ඉන්දීය කොදෙව් භූමියේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. මෙම ජයග්‍රහණයත් සමගින් ටෙස්ට් පිටියෙන් සමුගත් නායක මිස්බා උල් හක්ට සහ ප්‍රවීණ පිතිකරු යූනිස් ඛාන්ට මේ ඓතිහාසික ජයග්‍රහණය කදිම තෑග්ගක් විය. 

කොදෙව් පිලේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙද්දී දිනය නිමාවීමට ඉතිරිව තිබුණේ ඕවර 8 ක් පමණි. 
ලකුණු අතරේ සිටින පිතිකරු රොස්ටන් චේස් එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශතකයක් ලබා සිටි අතර පාකිස්තානුවන්ගේ ජයග්‍රහණය නතර කරන්නට නොගත් වෑයමක් නැත. දිනයේ අන්තිම මොහොත වනතුරුත් පාකිස්තානුවන්ගේ හදගැස්ම වැඩි කළ මේ යොවුන් පිතිකරුවා ඊයේ රැස් කළේ ඔහුගේ තුන්වැනි ටෙස්ට් ශතකයයි. 

ඉනිමේ අවසන් පිතිකරු ෂැනොන් ගේබ්‍රියෙල් පැය භාගයකට වඩා පරිස්සම් කරගත් කඩුල්ල  අන්තිමේදී දිනය නිමාවීමට එක් ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී යසීර් ෂා ට පූජා කරමින් මේ ඓතිහාසික ජයග්‍රහණයේ සතුට සැමරීමට පාකිස්තානුවන්ට අවස්ථාව ලබා දුන්නේ ආරක්ෂාකාරී වීම වෙනුවට අපරික්ෂාකාරීව පහරක් ගැසීමට යාමෙනි. ඔහු දැවී ගියේ යසිර් ෂාගේ ඕවරයේ අවසන් පන්දුවටය. එය යසීර් ෂා ටෙස්ට් ඉනිමක කඩුලු 5 ක් සම්පූර්ණ කළ 11 වැනි අවස්ථාව වූ අතර මේ තරගාමලාවේ ඔහු දවාගත් 25 වැනි කඩුල්ලද විය. 

ඊයේ දිනය පුරාම තරගය මැනවින් පාලනය කළ පාකිස්තානුවන් දිවා ආහාරය වෙද්දී සත්කාරකයන්ගේ කඩුලු 4 ක් බිඳ දැමීමට සමත්වූයේ ලකුණු 73 කටය. ඉන් පසුව මුලු ලකුණු සංඛ්‍යාව 93 ක් වෙද්දී නම ගිය පිතිකරුවෝ හය දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. 

කෙසේ වෙතත් රොස්ටන් චේස් සමග එක්වූ නායක ජේසන් හෝල්ඩර් 7 වැනි කඩුල්ලට ලකුණු 58 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ඉනිම ලකුණු 151 දක්වා ඉහළ දැමූ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හසන් අලීගේ පන්දුවක් හමුවේ කොදෙව් නායකයා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් පසු චේස්ට සිදුවූයේ හුදෙකලා සටනක නිරතවීමටය. 

මේ පිතිකරුවා දෙවතාවක්ම කඩුල්ල රැක ගැනීමට සමත්වුණේ හසන් අලිට සහ මොහොමඞ් අබ්බාස්ට පින්සිදු වන්නටය. චේස් ලකුණු 67 ක් ලබා සිටියදී පන්දු යැවූ හසන් අලිටම දුන් පහසු උඩපන්දුවත් ඔහුගෙන් ගිලිහී ගිය අතර ලකුණු 91 ක් ලබා සිටියදී මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවකට ස්ලිප් පෙදෙසට දුන් උඩපන්දුවෙන් කඩුල්ල බේරාගත්තේ එය නිපන්දුවක් වීම හේතුවෙනි.
 
කෙසේ වෙතත් පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් දෙදෙනාගේ අවසන් ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනාටම සුන්දර මතක සටහනක් ඉතිරිකිරීමට තරම් දෙවියෝ කාරුණික වූහ. තරගය අහවර වීමට ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ෂැනන් ගේබ්‍රියෙල් හිතුවක්කාර පහරකට පෙළඹීමෙන් මිස්බා සහ යුනිස් ඛාන් බලාපොරොත්තු වූ ජයග්‍රණය පාකිස්තානයට ලැබිණ. 

 

පාකිස්තානය පළමු ඉනිම - ඕවර 146.3කදී සියලුදෙනා දැවී ලකුණු 376
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - ඕවර 115කදී සියලු දෙනා දැවී ලකුණු 247
පාකිස්තානය දෙවැනි ඉනිම - ඕවර 57කදී කඩුලු 8ක් දැවී ලකුණු 174 
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - ඕවර 96කදී සියලුදෙනා දැවී ලකුණු 202

(ශිම්රොන් හෙට්මියර් 25, ෂායි හෝප් 17, රොස්ටන් චේස් නොදැවී 101, ජේසන් හෝල්ඩර් 22, මොහොමඞ් අමීර් 22/1, මොහොමඞ් අබ්බාස් 31/1, යසීර් ෂා 92/5, හසන් අලි 33/3)

 

- 077


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.