TAMIL  |  ENGLISH  |  WISDEN INDIA 

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

Views 2525 17 May 2017 20:11

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති ඉවත්වීමේ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 7 ක ජයක් හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට අද (17 වැනිදා) සමත්විය. සන්රයිසස් හයිද්‍රාබාද් ඉනිම අවසන් වනවාත් සමගින් ආරම්භවූ වර්ෂාව හේතුවෙන් තරගය පැය දෙක හමාරකට ආසන්න කාළයක් පැවැත්වීමට නොහැකි විය.


වර්ෂාවෙන් පසු ආරම්භවූ තරගය ඕවර 6 කට සීමාවූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ලකුණු 48 ක ඉලක්කයක් හිමිවිය. ජයග්‍රහණය සදහා ලකුණු 48 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 5.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.


පන්දු 7 ක් තුළඳී ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ වැටුණද සිවුවැනි කඩුල්ල සදහා පන්දු 25 කදී ලකුණු 36 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ ගෞතම් ගාම්බීර් සහ ඉශාන් ජග්ගී කොල්කටා නයිට් රයිඩර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. පන්දු 19 කට මුහුණදුන් ගෞතම් ගාම්බීර් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.


කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන් හමුවේ මන්දගාමී පිතිහරඹයක නිරතවූ සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාවක් හිමි නොවීය. 


මෙවර තරගාවලියේ ලකුණු 600 සීමාව පසුකර පළමු සහ එකම පිතිකරුවාවූ ඬේවිඞ් වෝනර්ටද අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 37 ක් පමණි. ආරම්භයේ සිටම මන්දගාමී පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් වෝනර් පන්දු 35 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් විය.


නේතන් කූල්ටර්නයිල් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවාගත් අතර උමේෂ් යාදව් ඕවර 4 කදී ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවිමට තීරණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 128 
(ඬේවිඞ් වෝනර් 37, කේන් විලියම්සන් 24, විජේ ශංකර් 22, නේතන් කූල්ටර්නයිල් 20/3, උමේෂ් යාදව් 21/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 5.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 48
(ගෞතම් ගාම්බීර් නොදැවී 32)


COMMENTS

පාසල් ක්‍රිකට් තරග

Copyright @ Wijeya Newspapers Limited and global partner FW Sports and Media.